දැනෙන කවි පොතක්, නව යොවුන් ප්‍රේමයක් වැනිය. දිවා රෑ දෙකේ හද සමීපයේම රැඳෙයි. පසෙකින් තබන්නට ලෝබ හිතෙයි. එවැනි වූ කවි පොතකි, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ හිරුත් හිම පියල්ලක කාව්‍ය සංග්‍රහය. හද මනසට දැනෙන කට පුරා හොඳ යැයි කිව හැකි කවි බහුතරයක් එහි අඩංගු වෙයි. පහර දිය යුත්ත දුටු විට රිදෙන්නටම පහර දිය යුතුවාක් මෙන්ම ඔසවා තැබිය යුත්ත නොපැකිළව ඔසවා තැබිය යුතුය. අද්‍යතන සිංහල නව්‍ය කාව්‍ය ව්‍යාපාරයේ මහ ඉහලින් බලාපොරොත්තු සහිතව ඔසවා තැබිය හැකි කවියෙක් මෙම කෘතිය තුලින් අප ඉදිරියට පැමිණේ.

ප්‍රථම කොට මෙම කෘතිය ජන ගත කිරීමේ සංවාද සභාවේදී, ප්‍රස්තුත කවියා දේශපාලනිකය පිළිබඳව දක්වන්නේ යැයි කියන අල්ප උනන්දුව අරබයා මතුවූ අදහස් සැළකිල්ලට ලක් කරමි. සකළ විධ ප්‍රපංචයන් තුල දේශපාලනය ගැබ්ව පවතී. එයින් වියුක්තව මඩ කළල් තුලින් මතු ව සුපිපෙන අරවින්දයක් සේ කවියෙකු තබා කවරෙකු වත් පවතී යැයි සිතීම යථාර්ථය නොව ෆැන්ටසියකි.

යමෙකු යම් දේශපාලනයක නොයෙදී නිහඬව සිටීම පවා දේශපාලනයකි. 

කවිය තුලින් ගම්‍ය වන දේශපාලනය සංවාද කිරීමේ මුවාවෙන්, කවියා සහ කවිය තම දේශපාලන ව්‍යාපෘති තුල සිර කර ගැනීමට වෙර දැරීම ඛේදයකි. එහිදී කවිය ද්විතියික වී සංවාදය තුල දේශපාලනය මූලික වේ. ඉදින්, කවියාගේ දේශපාලනය හෝ අදේශපාලනය පසෙක තබා කවියේ දේශපාලනය සංවාද ගත කළ විට ඊනියා ප්‍රශ්න වියැකී යයි. වර්තමානය වනාහී ධනපති ක්‍රමයේ නව පරිභෝජනවාදී කාර්තුවයි. සමහර පැරණි කියවීම් අවසඟව යන අවධියයි. එහි කටුසර, දුක්බර අත්දැකීම් නිර්මාණශීලීව සහෘදයන් වෙත ප්‍රක්ෂේපණය කිරීම පාසු සරළ කටයුත්තක් නොවේ. මල් පත් ගැන කවි ලිවීම පහසුය. 

විනෝද කර්මාන්තය වැනි නූතන අත්දැකීමක් තුල සමාජයක් මුහුණ දෙන තත්වය විමසන ''ලියමන'' නම් මෙහි එන කවිය විමසන්න. කවියා ද නියැලෙන මෙකී ක්ෂේත්‍රය ඔහු මනාව තර කොට අල්ලා ගනියි. 

දවස් නවයක් ෂෝස් දිගටම
ඊයෙ මට අර ලෙඩේ හැදුනා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා


''නැට්ටුක්කාරියක්'' වීම අතීත ලංකාව තුල කොතරම් පහත් දෙයක් ලෙස සැළකනු ලැබුවේ ද යන්න සමඟ ගලපා ගැනීමේ දී මේ කවිය මතු කරන උත්ප්‍රාසය කෙතරම්ද? අනෙක් අතට කාන්තාවකගේ ස්වභාවික ජෛව ක්‍රියාවලියක් වන ඔසප් වීම සිදුවන බොහෝ ශාරීරික අපහසුතා සහිත දිනයක පවා ගෙදර ගැන හිත හිතා නටන්නට සිදුවීම කෙතරම් පීඩාකාරී තත්වයක්ද? මෙම පද ගැලපුම මෙකවිය මතු නොව සමස්ත කෘතියේම අතිශය සංවේදී තැනකැයි සිතමි. නවක නිළි වරුණ ද පෙරකී විනෝද කර්මාන්තමය අත්දැකීමක්ම විෂය කර ගනියි. 

නිමාවී ෂූට් එක
නොමැතියෙන් ට්‍රාන්ස්පෝට්
තරු තිතක් ත්‍රීවිලෙන්
බෝඩිමට පායනා...


තරු එළියෙන් ගිනිකන වැටුන දෑස් කවියා මොහොතින් පියවි තත්වයට පත් කරයි.

''සරතේ'' වැනි කවියක රුව ගුණ කම්පනය පතල් කර්මාන්තය පිළිබඳ අත්දැකීම් සහිත අයෙකුට වඩාලාත් හැඟීම් දනවන්නක් බවට පත්වේ. කුඩා දෝනා කටවල් තුල රිංගා පොලිස් භීතිකාවෙන් ද පෙළෙමින් දහ දුක් විඳ මුදලාලිලාට රුවන් ගෙනෙන සරතේ වැනි මිනිසුන් සිටින රුවන්පුරයේ, මහින්දට මෙන්ම අපටද මෙවැනි අත්දැකීම් දුලබ නොවේ. එවන් මතකයන් සමඟ මෙකවිය දෙඇසට කඳුළු නංවන්නට සමත් ය. පතල් දිවි සැරියේ මෙවන් තරුණන් මනඃකල්පිතයන් නොව සැබෑවට හමුවන මිනිසුන්ය.

සිඹ සනසා මුව සැමගෙ වැඩ කලේ
ඒ හිංදා උන් සන්තොසිනි වැඩ කලේ
උන් උදෙසා නුඹගෙ සිනා වැය කලේ
නුඹ මිනිසා සතුටින් හිටපු හැම වෙලේ
 

එවන් වූ අයෙකි, මෙසේ රුදු ලෙස මරු රැගෙන යන්නේ. 

නුඹගේ හද ගැස්ම සමහර විට වැඩිවී
පොළවේ දෙදරුමක් වූවාදැයි සිතමී
පතුළේ නුඹ තබා පස් කඳ බුරුල් වුණී
සරතේ නුඹට බය නොසිතුණු බව දනිමී
 

''නැතත් ඇත'' වැනි කවියක විරහයෙන් තැවෙන පෙම්වතාගේ උපේක්ෂා සහගත සංලාපය අතිශයින් සෞන්දර්යවාදීය. එතුල ඔහු තමා හැරගිය පෙම්වතියට දොස් නොනගයි. එක පාර මා මරන්නැයි නොකියයි. ඔහු උපේක්ෂා සහගත වෙයි. ඒ උපේක්ෂා සහගත යොවුන් පෙම්වතා ''විසල්'' නම් කවිය තුල මෙසේ කූටප්‍රාප්තිගත වෙයි.

මා පසුකර වයසට යන
ලෝකෙ තියන
ලොකුම සැමරුම් සෙල් පිළිම මැද
නෙත් පුරා වැහි ගතිය පුරෝගෙන
ආපසු යද්දි මට හිතුණා
ලෝකෙ ඉන්න පුංචිම කෙනා
මං කියල


ඒ දුකවි මගම, ''සොරකම ''නැමති කවිය තුලින් ද හේ අප වෙත ගෙන එයි. එහි දී කවියා අහිමි වූ ප්‍රේමය පිළිබඳව පවසන්නේ, අන් යුවලක් ප්‍රේමය විඳින අයුරු දක්වා එය තමාගෙන් සොරා ගත්තා වූ සොර බඩුවක් ලෙස වර නගමිනි.

මා සැදූ නෙක පැහැති මල් දම්
පළඳවයි ඔහු ඈ සිනා ගෙල
ඈත් ඔහු හට පුදා සැනසෙයි
නුඹෙන් සොරකම් කරපු ඉඟියක්


බොහෝ විට ජීවිතාවසානයකින්, උණ්ඩයකින්, දික්කසාදයකින් කෙළවර වන අත්දැකීමක් දෙස නව මානයකින් බැලීමට සහෘදයා පොළඹවන පද්‍යයකි, ''කහට රසයක්'' පද්‍යය.

තේ බඳුන් කුඩු වූ සැඳෑවක
නුඹ එදා නොකියාම පිටවුණි
එදා අඳුරේ අහම්බෙන් මෙන්
මගේ බිරිඳගෙ කඳුළු දුටුවෙමි


බොහෝ කලක් ගතවූ පසුව සිය බිරිඳ හා ආදර දැලක පැටළුණු 'වීරේ' ට බීර බෝතලයක් බොන්නට ආරාධනා කරන උපේක්ෂාවෙන් පිරුණෙකු අපට හමු වේ.

කිසිදාක මෙහෙවරට
වුවමනාවෙන් නොසිටි
දොර රෙද්ද මෙහෙවරක
එහි වැටුණු මල් රටා මල්වරව
අලුත් රහසක් කියයි


''දොරකඩ සිට'' කවියෙන් පියෙකුට පවසන අලුත් රහස කුමක්ද? එක්තරා නාඳුනන සිනාවක පැටලිලා බිරිඳ හැර ගිය පසු තනිව හදා වඩා ගත් දියණිය, මල්වර වූ දින පිය සිතෙහි හට ගත් සිතිවිල්ලයි.

''අහිමි නුඹෙ වමත, ගස යට නතර වුණු අම්මාගෙන්, පෝරු හදන තාත්තා, බිත්තියේ සිත්තම, යසෝදරා, සාරි කඩේ සුගන්ධි'' ඈ නෙක රස කවි උවමනාවෙන් මග හැර යමි. බොහෝ කොට එවැනි කවි සංවාදයට ලක් වෙන බැවිනි.

උක්ත කවි සරණියේ තවත් වෙසෙස් ලක්ෂණයක් ලෙස විරිතක් සහ රිද්මයක් පවත්වාගෙන යාම දකිමි. සිය ඉඳුවර පොකුණ කාව්‍ය සංග්‍රහයේ සිංහල කවියේ විරිත් ලකුණු පිළිබඳ මනා පර්යේෂණාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන කුමාර ලියනගේ කවියා දක්වන්නේ විරිත, ගීතාත්මක බව සිංහල කවියේ අනන්‍ය ලක්ෂණයක් බවයි. 

....''මහාචාර්ය සිරි ගුණසිංහ සිදු කළ චින්තනමය කැරැල්ල විසින් බිහි කෙරුණු නිසඳැස් පද්‍ය අතරද දියෙහි ඔබන ලද පන්දුවක් ඉඩ ලද විගස දිය මතු පිටට එන්නා සේ උක්ත මාත්‍රා 12 කාව්‍ය ආකෘතිය බොහෝ තැන්හිදී යෙදී ඇති ආකාරය දක්නා ලැබේ. මේ අනුව සිරි ගුණසිංහ විසින් රචිත 'මස් ලේ නැති ඇට' කෘතියෙහි ඇතැම් පද්‍ය ඛණ්ඩ මගින් නිදර්ශනය වන්නේ ඔහුගේ ව්‍යායාමය වුව සිව් පදයෙන් සහ එළිසමයෙන් විනා විරිතෙන් නිදහස් වූ බව නොවේ.''
-[ඉඳුවර පොකුණ- 30 පිටුව-කුමාර ලියනගේ ]


විරිතක් රිද්මයක් මෙලියන නිදහස් කවියටත් අත්‍යවශ්‍යයැයි හඟින්නෙකු ලෙස මහින්දගේ කවියේ මෙම විරිත් ලකුණු අගය කොට සළකමි. සාරි කඩේ සුගන්ධි කවිය, සිත් ගැබ් හි පිළිසිඳ ගත් කළල කවියක් පොහොණි කර පිරිපුන් කවි දරුවෙක් බිහි කරන්නේ කෙසේද යන්න නව කවියනට නිදසුනකට ගත හැකි කවකි. 

සාරියක වැටි මල් වැලක් සේ
සිනා මලකින් මුහුණ සරසා
යනෙන වුන් සහ වෙමින් කුළුපඟ
සාරි විකුණන සුගන්ධි
[කවි සියපත-2007- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල]


වසර කිහිපයකට පසුව හේ එම කව අප වෙත ගෙන එන'යුරු විමසන්න.

සාරියක රැඳි මල් වැලක් සේ
සිනා මල් වැල් මුහුණෙ පටලා
යනෙනවුන් සිත පළන්ඳන්නී
සාරි විකුණන සුගන්ධී


අනෙක් අතට එළිසම සහිත සිව්පද කවිද සිය නිදහස් ආරේ පද්‍ය අතර බහාලන මහින්ද එම අඩවියේද තමාගේ බුහුටි බව දක්වන්නේ ''නිදහස් කවියන්ට සිව්පද ගලපන්න බැහැ'' යනුවෙන් ප්‍රවාද ගත කරන්නන්ගේ කන්සයට සීන් පහරක්ද එල්ල කරමිනි. 

බොහෝ කරුණු පැවසීමට තිබුණේ වුවද, මෙම සටහන නිමා කළ යුතු නිසාවෙන් එයට එළඹෙමි. මෙහි මාතෘකාව ලෙස නන්දන වීරසිංහයන්ගේ පද්‍ය සංග්‍රහයක නමක් වන 'මහත් සඳ පිණි බිඳෙක' යන්න යෙදුවේ, මහත් වූ සඳක් පිණි බිඳෙක කැටිව පෙනෙන්නාක් මෙන් 'හිරුත් හිම පියල්ලක' කෘතිය තුලින්ද මහත් වූ ලොවක තතු පැදි පෙළකට ගොනු කොට ඇති බැවිනි.

සිංහල කාව්‍ය ව්‍යාපාරයේ සහය දිවීමේ ඉසව්ව පිළිබඳ කලබල විය යුතු නොවේ. මන්ද යෂ්ටිය බිම නොලා ගෙන යන්නට තරුණ කවීන් පෙලක් සිටින බැවිනි. 

පොත එළි දැක්වුණූ දා මිතුරු කවියෙකු පැවසූ වදනකින් මෙය නිමා කරමි.

''ඉරිසියා හිතෙනවා මචං........!''

සඳුන් ප්‍රියංකර විතානගේ