මංජුල වෙඩිවර්ධන මිත්‍රයාගේ 'මගේ ආද‍රණීය යක්ෂණී' නම් නවකතාව මා කියවා අවසන් කළේ මාස ‍තුනකට පමණවත් පෙර ය. නමුත්, ඒ පිළිබඳ මගේ අවංක අදහස පවසන බව ඔහුටත් පැවසුවත් ඒ පිළිබඳ නිශ්චිත අදහසක් ගොනු කර සටහනකට ගැනීමට අවැසි විවේක බුද්ධිය නොලදින් එය දින දින කල් ගියේ ය.

විවිධ නිර්මාණ කාර්යයන් කිහිපයක් කෙරෙන් රසිකයා වෙත තමාගේ කාර්යය පිළිබඳ යම් අදහසක් ඇති කළ ලේඛකයෙකු ගේ නව කෘතියක් එළි දැක්වෙන කල එයට පූර්වයෙන් සිදු කළ ඔහුගේ නිර්මාණයන් නවමු කෘතිය කියවන රසිකයා කෙරෙහි බලපෑමක් කරන බව ‍නොකියමනා ය. මංජුලගේ කවි සහ වෙනත් නිර්මාණ ද 'බත්තලංගුණ්ඩුව' නවකතාව ද ඇසුරෙන් ඔහුගේ නිර්මාණකාය පිළිබඳ අපට අදහසක් ඇත. අප 'මගේ ආදරණීය යක්ෂණී' අතට ගන්නේ එවැනි පූර්ව නිශ්චිත අදහස් ගොන්නක් හිසෙහි දරමිනි.

එමතු ද නොවේ. නවකතාවට ප්‍රථමයෙන් කියවන්නට ලැබෙන ඒ පිළිබඳ විචාර ද, මිතුරු මිතුරියන්ගේ අදහස් ද ඊට අනුපාන සපයයි. මංජුලගේ නවකතාව වෙනස් වැඩකි. මංජුල කවදත් වෙනස් වැඩ කරන වෙනස් විදිහට දකින කෙනෙකි.‍

ඒ කෙසේ වෙතත් ලංකාවෙ මුල් බැස ගනිමින් තිබෙන අමුතු තාලයේ විචාර ප්‍රවර්ගයක් දැන් දැන් දක්නට ලැබේ. එම විචාර නම්, කෘතියට වඩා තේරුම් ගැනීමට අසීරු,පැටලිලි සහගත බස්වහරක් යොදා ගත්, ඉංගිරිසි යෙදුම් නහුතයක් අඩංගු, කියවා අවසන් වන විට කියා ඇත්තේ කුමක්දැයි හිතා ගැනීමට නොහැකි අපභ්‍රංශ තාලයේ ඒවා ය.

මේවා කියවන බොහෝ පාඨකයන් එය තමන්ට නොතේරුණ බවක් නොඅඟවා සිටින්නට කැමැතිය. ඒ තමා නොදන්නා අනෙකෙකුට මේවා තේරෙණු ඇතැයි ද නොතේරුණු තමා මුග්ධයෙකු ලෙස ගනිතැයි ද යන අස්ථාන බිය නිසා ය. අප දන්නා පරිදි, වඩා සාර්ථක ලේඛනය යනු කියවන්නාට තමා ‍ලියූ දෙය නිවැරදිව සන්නිවේදනය කෙරෙන ලේඛනයයි. කෙසේ වෙතත් පෙර කී අපභ්‍රංශ විචාරකයින්ට හසුවන ලේඛකයා තමා තුල තමා නොදන්නා යම් සාරයක් ඇතැයි සිතමින් මං මුළා වෙයි. 'යක්ෂණී' කෘතිය ගැන ලියැවුණු සමහර විචාර ද එබඳු ය. (මංජුල ඊට හසුව ඇතැයි ඉන් නොකියැවේ.)

කෘතිය ගැන පවසන්නට බොහෝ කරුණු ගොන්නක් නැත. 'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කොට දමා ඇත. අප දන්නා පරිදි මංජුල යනු කියන්නට දෙයක් නැති ලේඛකයෙක් නොවේ. කියන්නට බොහෝ දේවල් ඇත්තෙකි. නමුත් කියන්නට හදන විදිහ හෙවත් ආකෘතිය විසින් කියන්නට හදන දෙය හෙවත් අන්තර්ගතය ඉතා ක්ෂුද්‍ර කොට සඟවා දමා ඇත. ආඛ්‍යාන රටාවේ ගලා යෑම සංකීර්ණ ය. භාෂාව නම් ඔහුට ආවේණික ළගන්නා රීතියයි. එය පවා යම් යම් අවස්ථාවල දී අධිමාත්‍රාවක් ගන්නා ලෙසක් පෙනෙන්නට තිබේ. ආකෘතිකමය වශයෙන් කර ඇති අත්හදා බැලීම් කෘතියට සාධාරණයක් කරන්නේ නැත. නිදසුනක් ලෙස කෘතියේ අවසාන භාගයේ පිටුව දෙකට බෙදමින් ගෙන යන කතා දෙක කියවන්නා පැටලිල්ලකට ගෙන යනු විනා කෘතියට යහපතක් ඉටු නොකරයි.

මේ කෘතිය ගැන පවසද්දී මා මුහුණ දුන් රසවත් සිදුවීමක් ද සිහියට නැගේ. කෘතිය පිළබඳව මම එක්තරා අවස්ථාවක, විචාර කටයුතුවල නිරත ව සිටින සාහිත්‍ය මිතුරෙක්ගෙන් අදහස් විමසුවෙමි. ඔහු කෘතියේ ආඛ්‍යාන රටාව ගැන පැහැදීමෙන් කථා කළ අතර 'පිටුවල වෙනසක් දැනුණේ නැති දැ'යි විමසුවෙමි. ඔහු එවැන්නක් නැති බව කීවේ ය.

කෘතියේ පිටු ඇමිණීමේ දී දොසක් සිදු වී පිටු කිහිපයක් මාරු වී පොත් සකස් ව තිබුණි. තාක්ෂණික දොස පවා ආකෘතික හරඹයක් ලෙස දකින තත්වයක් ඇතිව තිබෙන බව මේ සිදුවීමෙන් මම තේරුම් ගතිමි. මොනතරම් ආකෘතික හරඹයන්, අත්හදා බැලීම් කෘතියක් වෙත ගෙන ආව ද ඒවා අවසාන විග්‍රහයේ දී කියවන්නා වෙත සේවය කළ යුතු ය. එකී කරුණු කියවන්නා වෙහෙසට පත් කරමින් ඔහු එයින් ඈත් කරන්නේ නම් එවැනි හරඹ වලින් පලක් නැත.

අවසාන වශයෙන් බොරු වර්ණනා වලින් තොරව කිය යුත්තේ, 'බත්තලංගුණ්ඩුව' අතික්‍රමණය කිරීමට 'මගේ ආදරණීය යක්ෂණී'යට නොහැකි වී ඇති බව යි.

එනමුත්, නවකතාකරුවෙක් ලෙස මංජු‍ල දෙස බලාපොරොත්තු දල්වා බලා සිටීම මා අත්හරින්නේ නැත. කිම ද යත්, බත්තලංගුණ්ඩුව නවකතාවෙන් ලද ප්‍රහර්ෂය තවමත් හදෙහි රඳනා බැවිනි.