කවිය වල පල්ලට ගොස් ඇතැයි අප එකිනෙකාට කෙතරම් මැසිවිලි කියා ගත්තද කවිය ස්පර්ශ කරමින් සාහිත්‍ය ලොවට අවතීර්ණ වන තරුණ නිර්මාණකරුවන්ගේ ප්‍රමාණයද අනල්පය.
අද සාහිත්‍යයක් නැත. සාහිත්‍යය නිර්මාණ වෙනුවට හරසුන් ආලාප පමණක් ම බිහිවේ යනාදී කොට ගත් ආඩපාලි බෙණෙනවාට වඩා පැණසර ප්‍රවීණයන්ගෙන් සිදු විය යුත්තේ යම් පමණකින් හෝ මේ එළි දකින නිර්මාණ කෘති වල සුගුණ සහ දුර්ගුණ පෙන්වා දෙමින් මෙකී දුර්ගුණයටන්ගෙන් අප පරපුර ගලවා ගැනීමයි. නමුදු අවාසනාවකට මෙන් සිදු නොවන්නේද මෙයමය. බොහෝ කොට කියා ඇති පරිදි මගේ මේ චූල වෑයම එකී තුංග කර්තව්‍යයට සුළු අලගු තැබීමකි.

මෙම වකවානුව බොහෝ තරුණ කවීන් සිය නිර්මාණ, කෘති ලෙසින් සහෘදයන් වෙත පත් කළ අවධියකි.
පිනි දිය වැස්ස වූ කලී ළහිරු කිතලගම නම් තරුණ කවියාගේ ප්‍රථම කවි එකතුවයි.
ඒ පිළිබඳව යම් සටහනක් තැබීමට අදහස් කරමි. එකී එළැඹුමට පළමුව ලියොන් ට්‍රොට්ස්කිගේ එක් සුභාෂිතයක් සිහිපත් කිරීම වටනේ යැයි සිතමි.

''අපගේ පොදු යුතුකම නම් සෑම කලාකරුවෙකු කෙරෙහිම අතිමහත් සැළකිල්ලක් දැක්වීම බව අප සෑම දෙනාටම ප්‍රත්‍යක්ෂ කරුණකැයි මම කල්පනා කරමි. අප සමග එක පෙරමුණේ යුධවැද සිටින කෙනෙකු සම්බන්ධයෙන් ගත්විට ඔහු කෙරෙහි පෙර නොවූ විරූ තරම් සැළකිල්ලක් දැක්වීම අපගේ දැඩි වූත් ප්‍රධාන වූත් පොදු යුතුකමක් වන්නේය. එවන් අවධානශීලී කාරුණික ආකල්පයක පළමු කොන්දේසිය නම්, තරුණ කලාකරුවාගේ ස්වයං විවේචනය මරා දමමින් අකාල ප්‍රශංසා ප්‍රදානය නොකිරීමයි.දෙවැනි කොන්දේසිය නම්, තරුණ කලාකරුවා පා පැකිලී වැටුණ සැනින් ඔහුගෙන් තවදුරටත් වැඩක් නැතැයි අත සෝදා නොගැනීමයි.''
ලියොන් ට්‍රොට්ස්කි
(පෙරමුණක් නැති සෙනවියෙකුගේ කගපතක මුවහත)
මා සුනිල් මාධව දකින හැටි
ෂෙල්ටන් පයාගල

අප පරම්පරාවේ නිර්මාණ දෙස බැලීමේ දී ඉහත වදන් මුෂ්ටි කොට ගැනීම යෙහෙකැයි සිතමි. මන්ද මේසා විශාල ප්‍රහාරයන් ගණනාවකට මුහුණ දුන්, කප්පාදු කරනු ලැබූ සහ අතරමං කරනු ලැබූ පරම්පරාවක් සාහිත්‍යයට යොමු වීමම විශේෂයක් වන බැවිනි.

පිනිදිය වැස්ස පෙන්වන ප්‍රතිභාව
 
මෙම තරුණ කවියා ප්‍රතිභාන්විතයෙකු බව නොකිව මනාය. ඔහු තම නිර්මාණ තුලින් ඒ බව අපට පෙන්නුම් කරයි. කවීත්වයක් නැත්තෙකුට මෙවැනි පද ගැලපුම් ඈ නෙක සුරුකම් වල හැසිරිය නොහැක.

පියෙක් දුක් වූ හෙලූ කඳුළැල්
දෑත මත කහවණුව හැරුණේ
ලැබුණ කහවණු ගෙදර වළඳේ
බතක් වී කුස ගින්න නිවුණේ
                          (සීවලී යන්ත්‍රය)



ගම් දොර හරය
වීසි නොකොට
බ්ලූමැන්ඩල් කුණු ගොඩට
අඩුවක් කා බඩ වියත් රැකගෙන
                                   (සරසවි සිසුවා සහ බොඳවූ සිහිනය)

පෙර දවස බත සදා
කුස නිවා එළිය වූ
සඳ එළිය නිවී ගොස් ඇති බැවින
ගිනිහල් ගේ තුල
                         (ළබැඳියකගේ ජීවිතය)
වැනි කවි එම අදහස සනාත කරයි.

නව්‍ය අනුභූති වලට යොමුවීම

නව්‍ය අනුභූති වලට යොමුවිම සහ සම්ප්‍රදායික කියවීම් ප්‍රශ්න කිරීමට උත්සාහ කිරීමත් මෙම කෘතියේ සාධනීය ලකුණකැයි හඟිමි. ''සීවලී යන්ත්‍රය'',''මළ ගෙදර සාජ්ජය'' කවි ඊට නිදසුනෝ වෙති.
මෙසේ යම් සාධනීය ලකුණු ප්‍රමාණයක් පෙන්නුම් කළ ද සමස්තයක් ලෙස ගත් කල මෙකවි එකතුව අසාර්ථක යැයි සිතමි. කෙසේද යත්,

හීන වූ ව්‍යුත්පත්ති ගුණය

මෙය අප පරම්පරාවේ බොහෝ දෙනාට (ලියුම්කරු ද ඇතුලත්ව) බලපෑම් කරන්නකි. බොහෝ විෂයන් බොහෝ කොට නොහැදෑරූ බව, පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ස්පර්ශයෙන් තොර වීම, නව දැනුම් පද්ධති වෙත අවෘතව සිටීම, මිනිස් ඇසුරෙහි අත්දැකීම් උකහා ගැනීමේ විෂයෙහි ලා උකටලී වීම මෙකී ගුණය නොඑසේව බොහෝ ඇසූ පිරූ තැන් නොමැති වීමට බලපානු ලබයි. එකී සාහිත්‍යය කරණය විෂයෙහි වන දුර්ගුණයම නැවත කවියෙහි රස සහ ගුණ දෙපාර්ශවයටම ප්‍රහාර එල්ල කරයි. එනයින් කෘතිය තුල පැන නැගී ඇති බොහෝ දුර්වලතා මෙකී ප්‍රධාන දුබලතාවයෙන් පැන නැගුණේ වෙයි.


වාර්තාමය ස්වරූපය

මෙකී කෘතිය තුල බොහෝ කොට දකින්නට ලැබෙන්නකි. කිහිපයක් අතරින් තෝරා ගත් මෙම කොටස් විමසන්න.
හන්දියේ කඩ පිලේ
ගරා වැටි බංකුවේ
ඈඳි ගෙන සැඳෑ යම
බීඩියක් සුදුපාට
දුම් වලා
               (සැඳෑ යම තනියම)

අයුක්තියේ අඳුර බිඳින්නට
සත්‍යයේ ආලෝකය දල්වන්නට
අයුක්තියේ දුගඳ නසන්නට
නිදහසේ උරුමය රකින්නට
හදවතට ජවය දිරි දෙන්න
නව ලොවක් හෙටට තනන්නට
දෑස් පිසදා සැරසෙන්න
                            (නව ලොවක් උදෙසා)
                            (සම්පූර්ණ කවියම මෙහි වේ)


මේවායේ වාර්තාමය ස්වරූපයක් මිස කාව්‍යමය ස්වරූපයක් ඇත්තේ නැත.

ශුෂ්ක පද භාවිතය

මෙකී දුර්ගුණයද යටකී ප්‍රධාන දුබලතාවයෙන්ම පැන නැගුණකි. බොහෝ කොට කියවීමෙන් ඈත් වීම නිසා පටු වූ වාග් කෝෂය එකම ඕලාරික වචන නිතර යෙදීමට බල කරයි. උපුටා ගත් මෙම කවි එකී අදහස තහවුරු කරයි.

මාව කපලා කොටපු
මේ හතරුස් කූඩුවෙන්
මාව ගෙනියපං ගමට
මල් පොකුරු
කරදාසි කොළ
එපා බං..
             (මියගිය අප්පච්චිගේ අන්තිම කැමති පත්‍රය)

කන්නට අහරක් නැති සඳ
බොන්නෙමි ඇල් දිය තිබහට
දෛවය හා පොර බදමින්
ජීවිතයෙන් වන්දි ගෙවන
                      (දුප්පත් හදක සිතුවිලි)



අනේ පින් සිදු වන්නට
මගෙ පොඩි මැණිකේ
මං මක් කොරන්නද?
                             (පොඩි මැණිකේ)


යනාදී වශයෙනි.

දෘෂ්ටිමය දුබලතාවය

ප්‍රවණතාමය කවියට පමණක් නොව රොමෑන්තික කවියෙකුට පවා යම් දෘෂ්ටියක් තිබිය යුතුය. එය කටුවක්ව ගෙන ඒ තුල වැදගන්නට නොවේ. එසේ නොවන කල කවිය පමණක් නොව සහෘදයා ද අතරමං වීම වැළැකිය නොහේ. මෙම කවිද විමසන්න.

දෑත වෙහෙසා තම
දිරිය ගෙන කල් ගෙවන තරමට
ලොවේ ඇති නැති දනන් හට
හැකිය තම කුස පුරව ගන්නට
                                 (සීවලී යන්ත්‍රය)


නළඟන රැඟුමන් බැලුමට
මාගේ සිත නොවේ වසඟ
අතැති ටිකට්ටුවේ මුදල
තබමි මවගේ ගෙන සුරතින්..
                                (එල්ෆින්ස්ටන් අසලදී)
                                (සිඟන මවකට කාසි දීම ප්‍රස්තුත කොට ගත්තකි.)


දෛවය හා පොර බදමින්
ජීවිතයේ වන්දි ගෙවන..
                                (පොඩි මැණිකේ)


මෙවැනි කවි තුලින් ළහිරු තම දෘෂ්ටිමය ඌනතාවය සහෘදයා වෙත දමා ගසයි. ලොවේ ඇති නැති සියලු දෙනාම දෑත වෙහෙසා කුස පුරවා ගන්නවා යැයි කීම, ආදිය විකාරයකි.


කවි වලට යොදන මාතෘකා කෙරෙහි අඩුසැළකිල්ලක් දැක්වීම

මෙයද ළහිරු විසින් අවධානය යොමු කළ යුතු ඉසව්වක් බව සිතමි. මෙකී සමහර කාව්‍ය මාතෘකා ඉබාගාතේ ඔහේ යොදා ඇතැයි පවා සිතේ.කවියක මාතෘකාවේ ඇති ප්‍රබලබව පිළිබඳව අවධාරණය කිරීම සඳහා මංජුල වෙඩිවර්ධනගේ පිළිහුඩුවී කෘතියෙන් කවක් උපුටා දක්වමි.

කැත
මම මගේ වතේ හැඩරුව
කැඩපතින් බලන හැමවර
මට පෙනෙන්නෙම,
ඔබෙ හදවතේ පිළිරුව

                             පිළිහුඩුවී
                                  මංජුල වෙඩිවර්ධන


කවි එකතුවක් සහෘදයාට තිළිණ කිරීම ආධුනික කවියෙකුගේ නොඉවසිලිමත් සිහිනය වුවද එකී කඩිනම තුල කෘතියට අසාධාරණයක් වීමද වැළැක්විය නොහැකි අභියෝගයක්ව පවතී.
මෙකී බොහෝ අඩුපාඩු පෙන්වා දෙනු ලැබුවේ පෙර සඳහන් ට්‍රොට්ස්කිගේ ආස්ථානයේ දැක්වූ පරිදි අකාල ප්‍රශංසා වලින් අවැඩක් මිස වැඩක් නොවන බැවිනි.
එනයින්, ළහිරු තරුණ කවියාට මගේ යොජනාව වන්නේ ව්‍යුත්පත්ති ගුණය වඩවා ගැනීමේ ලා උත්සුක වන ලෙසයි. නිරන්තර අභ්‍යාසයේ යෙදෙන ලෙසයි. එසේ වූ කල ඔහුගේ නිසඟ ප්‍රතිභාව තුලින් වටනා කවි බිහිවනු ඇති බවයි.
හෑල්ලු පියවරෙන් වේගයෙන් දිව යනවාට වඩා බර අඩි තබමින් ස්ථීරසාරව සෙමෙන් ගමන් කිරීම හොඳය.

සඳුන් ප්‍රියංකර විතානගේ 
Sandun Priyankara Vithanage


(www.boondi.lk වෙබ් අඩවියේ පල වූවකි.)


2011.11.16