හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්.ජෝතිපාල නම් ගායකයා මිය ගොස් දශක දෙකක් ද ඉකුත්ව ගොස් ඇත. ඔහු නමින් වූ අනුස්මරණ පදනමේ මූලිකයා වූ ටී.එම්.සංඝදා‍ස ද නොබෝදා මිය ගියේය. එසේ වූ තතු සහිත මොහොතක ඔහු ගැන සංවාදයකට පොටක් පාදන්නට උත්සාහ කරනුයේ ජෝතිපාලයන් "ඔජ වැඩීමට" (මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා පැවසූ පරිදි) නොවේ. කුමක් හෙයින්ද යත් තවදුරටත් ලාංකීය සංගීතය වෙත ජෝතිපාලයන් විසින් කරනු ලබන බලපෑම නිසාය. ඔහු ඔසවා තැබීමට හෝ හෙළා දැකීමට අවැසිතාවක් නැත.

නමුදු මේ මොහොතේත් ලංකාවේ විකාශය වන සකළවිධ එෆ්.එම්. නාලිකාවන් අඩුම තරමේ පැයකට වරක් ඔහුගේ ගීතයක් ප්‍රචාරය කරනු දකිත හැකිය. සියල් සුපිරි තරු අභිෂේකයන් හි ඔහුගේ ගීත බොහෝ සෙයින් ගයනු ලැබේ. සිනමා තරු රාත්‍රීන් හි ද ඔහු ගැයූ ගීතම සරණ යනු දක්නා ලැබේ. ඔහු ජීවත්ව සිටිය දී පීචං කුලකයට (ජනතාව විසින් නොවේ) අයත් කරනු ලැබ සිටි ගායකයෙකි. නමුත් ප්‍රබුද්ධ නාමධාරී ගායකයින් අබිබවා තවමත් තම ගීතම ගුවනට මුසු කරන මේ මළගිය ගායකයා වේදිකාවෙන් බැස නොගොස් ඇත්තේ මන්ද?

නොවැදගත් සංවාදයකැයි යමෙකුට අවැසි නම් මෙය බැහැර කළ හැකි වුවද මෙහි කතිකාවකට භාජනය කළ යුත්තකැයි හැ‍‍‍ගෙයි. බොහෝ ප්‍රබුද්ධ යැයි සම්මත ගායකයින්ගේ චරිතාපදානයක් වත් (එවැනි අගය කිරීම් කළ යුතු විශිෂ්ඨයන් කීප දෙනෙක්ම ඇති බව මේ ලියුම් කරුගේ විශ්වාසයයි.) ලියැවී නැති තතු සහිත මොහොතක ජෝතිපාලයන් ගැන කවි සංග්‍රහයක් පළ කරනු ලැබුවේ කිවියර පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසිනි.

අනෙක් අතට බොහෝ දෙනා දන්නා පරිදි ජෝතිපාල යනු ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකි. මිය යන්නට පැය කීපයකට පෙරත් ගී ගැයුවේ ගම් උදා වේදිකාවකය. නමුත් ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වරක් සංවාදයක දී පැවසුවේ සිය ප්‍රියතම ගායකයා එච්.ආර්. ‍ජෝතිපාල බවයි. (මෙය වැරදි නම් නිවැරදි කිරීමකට යටත් ය.) කවර නම් වෙනසක්ද?

මෙසේ ජෝතිපාලයන් තවදුරටත් බැස නොගිය සුපිරි තරුවක් වී ඇත්තේ ඇයි? පුළුල් සංවාදයකට ඉඩ තබා යම් කරුණු කීපයක් සඳහන් කිරීමට රිසියෙමි.

01. මධුර මනෝහර උත්තර භාරතීය හින්දි ගී තනුවලට නිමැවූ ගී ගැයීම.

එකළ බොහෝ සෙයින් ජනප්‍රසාදයට පත් මධුර හින්දි ගීත සියල්ලටම පාහේ සිංහල පද යොදා නිර්මාණය කෙරුණු ගීත ඔහු ගායනා ක‍ළේය. එකී තනුවල ඇති මධුර බව මේ ගී ජනප්‍රිය වීමට හේතු වූවා විය හැකිය.

02. පද වැලේ ඇති සුනම්‍ය බව සහ සාහිත්‍යයික ගුණය.

එකල මෙකී ගීත වලට පද යෙදුවෝ මනා සාහිත්‍ය දැනුමක් තිබූ කරුණාරත්න අබේසේකර වැන්නෝය. ( ඔහුගේ ගීත වල නිසරු, ශුෂ්ක බොළඳ පද නොතිබූ බවක් ඉන් අදහස් නොවේ.) රස සුන් බවටම වැටෙතැයි කියන ගම්වැසි පදනරුත් පවා සාහිත්‍යයික පද සමග යොදා නිමැවූ ගී බොහෝ ගණනකි. "අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ....," වැනි ගී පද ද කොළඹ යුගයේ කවීන්ගේ පද වලට සමාන "සමන් මල් පියල්ලේ ස‍දේ රැස් කැරැල්ලේ - මීදුම් වළාවන් එක්වී සංඟීත රාවෙන් මත්වී මගේ රංගනියේ..." ආදිය ද උදාහරණයෝය.‍ ය‍ශොදරා වත වන් පුරාණ ජන කවියක පද බහාලූ ( සමහර විට ගෙඩි පිටින් ) "උන්මාදනියේ වෙන් වී යන පිටු පාලා..." වැනි ගීත ඒ අතරින් සුවිශේෂය.

03. අතීත කාමය - Nostalagia

මිනිසුන් තුල ඇති අතීතයට ඇති ආශාව හෙවත් ලොල් වඩන බව මේ ගී තුලින් සපුරා ගැනීමට හැකිවීම තවත් එක් හේතුවක් ලෙස දැක්විය හැකිය. ඔහුගේ ගීත ශ්‍රවණය කළ විට එබඳු ගී බොහෝ ගණනක් තිබෙනු දැක්ක හැකිය. අනෙක් අතට එකල නිර්මාණය වූ ගීත වල අත්දැකීම් කොහොමත් අතීතයට අයත් බැවින් ඒ ගීත ශ්‍රවණය කිරීමම අතීත කාමයකි.

04. සුවිශේෂී වූ හඬ පෞර්ෂය.

එච්.ආර්. ජෝතිපාලයන් ගේ ගීත වල ජනප්‍රිය වීමේ ප්‍රබලතම සාධකය ලෙස ගිණිය හැක්කේ මේ ප්‍රබල හඬ පෞර්ෂයයි. ගාමිණී ෆොන්සේකාගේ සිට විජය හරහා නව පරපුරේ නළුවන් දක්වා චිත්‍රපට පසුබිම් ගායනයට යොදා ගන්නා හඬක් ඔහු සතුවිය. එය අංගසම්පූර්ණ පුරුෂ ස්වරයකි. ඒ අතින් නම් ඔහුට අලගු තබන්නටවත් කිසිවකුටත් නොහැකිය. ඒ බව ලාංකීය මහා සංගීතවේදියා කේමදාසයන් පවා වරක් පැවසුවේය. 'දුලීකා' සිනමා පටයේ කේමදාස - ජෝතිපාල විරල සුසංයෝගයක් දැක්ක හැකිය.

එච්.ආර්. ජෝතිපාලයන් පිළිබඳව ජන ප්‍රවාදයන් ‍බොහෝ කොට සඳහන් ව ඇති නමුදු ඒවා වුවමනාවෙන් මගහැර ගොස් සංවාදයකට බඳුන් කළ හැකි කරුණු ප්‍රමාණයක් සටහන් කළෙමි. ඔහුගේ ගී ජනප්‍රිය වීමට හේතුව මේ එකක් වත් නොව අද බිහිවන බාල බොළඳ ගීතම පමණක් යැයි කියා වුවද තර්ක කළ හැකිය. කෙසේ හෝ යම් සංවාදයකට මෙය විවෘතය. 

සඳුන් ප්‍රියංකර විතානගේ