පොදුවේ සිංහල සාහිත්‍ය කලා භාවිතයන්ගේ ගුණාත්මක බව පිරිහෙමින් පවතින් බව දිගු කලෙක සිට කතා බහට ලක් වන්නකි. සාහිත්‍ය කලා කෙතෙහි දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන සම්මාන, ත්‍යාග ආදිය වෙනුවෙන් වන බැණ අඬගෑම්, කැලෑ පත්තර සංසරණය වැනි දේවල් ඒ අදහස ස්ඵුට කරන කාරණාවෝ ලෙස ගිණිය හැකිය. 

මේ සම්බන්ධයෙන් කලෙක පටන් ඉතා කටුක ලෙස, සමහර විට වඩාත් අගතිගාමී යැයි සිතෙන තරමට අදහස් පළ කරන්නෙකි, සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකරයන්. එමතු නොව කෙබඳු තත්වයක් යටතේ වුව අද අපට සිටින ජ්‍යෙෂ්ටතම සාහිත්‍යකරුවා ගුණදාස අමරසේකරයන් ය. මෙබඳු වයෝවෘද්ධ වයසකදීත් අභ්‍යාසවෘද්ධව, අනලස්ව සාහිත්‍යකරණයේ යෙදීම පිළිබඳව ඔවුනට අපගේ බුහුමන පළ කළ යුතුය. 

වෙසෙසින් නූතන නවකතාව අරබයා ඔහුගේ විවිධ අදහස් දැක්වීම් කර්ණ කටුකය. මේ සඳහා ආසන්නතම සහ කෙටිම නිදසුන, මෙම ලිපියෙන් මතුවට සංවාදගත කරන්නට තැත් දරන ඔවුන්ගේ අලූත් කෙටි කතා සංග‍්‍රහය වන"කියනු මැන දිවි අරුත" කෘතියේ පෙරවදනින්ම උපුටා දැක්විය හැකිය. 

"බුද්ධිමත් පාඨකයාට තමා වසන සමාජය සහ තමා ගෙවන ජීවිතය පිළිබිඹු කරන කැඩපතක් වන නවකතාව අප විසින් නොසෙවුණ කැඩපතක් බවට පත් වන්නට වූයේ කලකට පෙරයි. අද වන විට සිංහල නවකතාව ඒ තත්වයෙනුත් පහතට ඇද වැටී බාලයන් පිනවන විනෝදාංශයක් මෙන්ම වාණිජ රැල්ලට සරිලන වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබේ."
-කියනු මැන දිවි අරුත (පෙරවදන)

මෙසේ තම කියවීම කලෙක සිට සමාජගත කරන ඔහු මෑත කාලයේ ලියා පළ කරන ලද නවකතාව "සෝමවීරගේ සංක‍්‍රාන්තිය" නමි. පෙර ඔහු කියන ලද නවකතාවේ අර්බුදයට ඔහුගේම නවකතාවෙන් යම් ජීවන හුස්මක් ලැබුණා ද යන්න පැනයකි. සිය පසුකාලීන නවකතා වෙත ඔහුගේ දේශපාලන දෘෂ්ටිය ඉතා ගොරහැඩි ලෙස ඇතුලූ වී තිබීම මෙයට ප‍්‍රබලතම හේතුව ලෙස දැක්ක හැකිය. ඔහුගේ මෑත කාලීන නවකතාව කෙරෙහි පාඨක අවධානය ස්වභාවිකව ගොඩ නොනැගුණේ එබැවිනැයි අපගේ විශ්වාසයයි. නවකතාව සම්බන්ධයෙන් ඔහුගේ විවේචනයේ යම් සත්‍යයක් ගැබ් වුවද ඔහුගේ නවකතා පවා ඊට පිළියමක් නොසපයන බව කිය මනාය. 

ලාංකීය කෙටිකතා කලාව විෂයෙහි අමරසේකරගේ නිර්මාණ වලින් ලද බලපෑම සුළු පටු නොවේ. "රතු රෝස මල" කෘතියෙන් අරඹා ඔහුගේ නව වැනි කෙටි කතා එකතුව ලෙස නොබෝදා ප‍්‍රකාශයට පත් වූයේ "කියනු මැන දිවි අරුත" නම් කෘතියයි. මේ කෙටි කතා එකතුව මෑතදී ප‍්‍රකාශයට පත් වූ උසස් ගණයේ කෙටි කතා එකතුවක් ලෙස හඳුන්වා දීම යුක්ති යුක්තය. මෙහි කෙටිකතා පහකි. නූතන සමාජ සංස්කෘතික පරිහාණියේ කලාත්මක පිළිඹිබුවකි, ඒ. සිය අනෙකුත් කෘති වලදී මෙන් මෙහිදී ඔහු රළු ලෙස දෘෂ්ටිවාදී ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී අනුභූතින් කලාත්මක පරිකල්පනයක් මත සිත්තම් කරයි.

මේ එකතුවේ පළමු කතාව "මැයි දිනය" යනුවෙන් නාම ගන්වා ඇත. අපගේ මතකය නිවැරදි නම් ගිය වසරේ වැඩ කරන ජනතාවගේ දිනය නොඑසේව කම්කරු දිනය දා කුලී වැඩට යමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් වෑන් රථයකට යට වී මරු දුටහ. නූතන වෙළඳ මාධ්‍ය විසින් මෙම සිදුවීම එම දිනවල මාධ්‍ය භෝජනයක් කර ගත්තෝය. මෙම කෙටිකතාවෙහි එම සිදුවීම ඡායාත්මකව අපට දැකිය හැකිය. නමුදු, ශූර නිර්මාණකරුවෙක් ලෙස එකී සිදුවීම වෙනත් මානයක් කරා මෙහිදී ගෙන යන අයුරු විස්මය දනවයි. එකී රථය පැදවූ රියදුරාගේ ජීවිත තතුත් රථය හිමි වසළ වෙළෙන්දාගේ තතුත් පාඨකයා හමුවට පැමිණෙයි. එක් ප‍්‍රබල සිදුවීමක් විවිධ ඉසවු කරා විහිදමින් විවිධ චරිත විදාරණය කරමින් සමාජ දේශපාලනික විවේචනයක් වෙත කේන්ද්‍ර වෙයි. ඒකමානීය නොවන ආඛ්‍යාන රටාවකිනි. එහි චරිතයක් ලෙස එන මහේස්ත‍්‍රාත්වරයාගේ චරිතය හරහා මිනිස් චිත්ත චෛතසිකයේ සංකීර්ණත්වය පෙන්නුම් කෙරේ. ඔහුගේ බරපතල විවේචනයට හසු වන නව ලිබරල්වාදී මේ ඛේදනීය තත්වයන් විවිධ සමාජ පන්තීන් ස්ථරයන් විවිධ අන්දමින් තලා පෙලන ආකාරය මැනැවින් චිත‍්‍රණය වෙයි. 

මෙහි එන තවත් කතාවක් වන "රැගෙන මා අත සමිඳ කියනු මැන දිවි අරුත"නම් කතාව, මහත් බලාධිකාරයක් විහිදමින් රටෙහි දේශපාලනයට මහත් බලපෑම් කළ දේශපාලන චරිතයක් වටා ගෙතී ඇත. කාව්‍යාත්මක යෙදුමකින් නාමකරණය කර ඇති මෙම කතාවේ සමස්ත අරුත එහි කුළු ගැන්වී තිබේ. තම නායකත්වයේ කැරිස්මාව තුලින් රටක අංශුමාත‍්‍ර මිනිසා පවා ගල ග‍්‍රහයෙන් ගත් අයෙකුගේ දිවියේ අවසන් භාගය චිත‍්‍රණයේදී පාඨකයාගේ හෘදයාභ්‍යන්තරයෙහි ඔහු කෙරේ ශෝකී හැඟුමක් පවා විටෙක ජනිත කරවන්නට රචකයා සමත්කම් දක්වයි. 

අනෙක් අතට මෙම නිර්මාණාවලියෙහි වැදගත් ලක්ෂණයක් ලෙස බසෙහි වෙසරද බවෙන් නිපන් භාෂා රම්‍යතාව දක්නා ලැබේ. 

"සුළං රැල්ලට අසුවන, ළහිරු රැසින් නෑවුණු නිල්වන් ළා ගොයම තරංගාවලියක් සේ උස් පහත් වනුයේ ඔවුන්ගේ දෙනුවන් පිනවමිනි."

"මං මොකටද ටයර් දාල දෙන්නේ. උන් ස්කිඩ් වෙලා මැරුණොත් මන්තිරියා ඒක බලාගනීවිනේ. ඌ අර ටයර් කඩකාරයට කියලා ඕව නිකන් දා ගනීවි...."

"වැහිබර අඳුරු අහසත්, සොහොන් කොත් වසා පැතිර ගත් පාළුවත් දෙණ පිටුපසින් යන පිරිස ගායනා කරන යාතිකා ගීතයත් මා හද දුක්බර හැඟුමෙන් වෙළා ගන්නාක් මෙනි, මට හැඟුණේ.."


"රෝහලේ ගින්න" සහ "මාලය කඩා ගැනීම" යන නිර්මාණ ද උසස් කෙටිකතා ලෙස සැළකිය හැකි ඒවාය. 

මෙහි එන වැදගත්ම නිර්මාණය නම්, "මහගෙදර සොයා ආ ගමන" නමින් හැඳින්වෙන කතාවයි. දශක ගණනාවක් තිස්සේ රචකයා විසින් දෘෂ්ටිවාදයක් ලෙස සිය නිර්මාණ හරහා ගෙන ආ ජාතිකවාදී මතය දරන්නෙක් මෙහි ප‍්‍රධාන චරිතය ලෙස අප හමුවට එයි. ඔහු ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිය අතහැර තම දිවියේ සැඳෑ සමය සිය උපන් ගමෙහි මහගෙදර සරල අල්පේච්ඡ ලෙස ගෙවා දැමීමට සිතයි. නමුත්, මෙරටට පැමිණෙන ඔහු දකින්නේ, පශ්චාත් යුධමය ශ‍්‍රී ලංකාව නව ලිබරල්වාදයේ ගැලෙමින් අධිපරිභෝජනවාදී වෙළඳ යාන්ත‍්‍රණයේ කරවටක් ගිලෙමින් ව්‍යාජ පුරුෂාර්ථ කරපින්නා ගෙන අවලම් ගමනක යන අයුරයි. 

යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව සිය පෙර වැරදි සමහන් කර ගනිමින්, තමන්ට හිමි මාවත හාරා පාදා ගනු ඇතැයි බොහෝ පිරිස් උදක්ම විශ්වාස කළහ. බොහෝ ජනී ජනයා මෙන්ම ගුණදාස අමරසේකරයන් තුල ද සැබෑ ‘සුබ අනාගතයක්’ කෙරෙහි තැබූ එම බලාපොරොත්තු බිඳ වැටෙමින් යන අයුරු මේ කෙටිකතා එකතුවේ අවසන් කෙටි කතාවෙන් මැනවින් නිරූපණය වන බව අපගේ නිරීක්ෂණයයි. 

"මහගෙදර සොයා ආ ගමන" කතාවේ ‘ගුණසෝම’ යනු අන් කවරෙක් වත් නොවේ. ඔහු දිගු කලක පටන් අමරසේකරගේ සාහිත්‍ය චාරිකාවේ ඔහුගේ ගමන් සගයාය. ඔහු දිගු කලක් අපවෙත ආවේ ‘පියදාස’ ලෙසිනි. නූතන ලංකාව තුල ඔහු දකින්නේ කුමක් ද? 

"අනෝමා පාර්ලිමේන්තුව වටා රිය පැදවූයේ ඒ අවට ඇති සුන්දරත්වය විස්තර කරමිනි. එහෙත් ඒ සුන්දරත්වය අර ඔය මැද හිටුවා ඇති ගස් දනවන ව්‍යාජත්වය ආත්ම කොට ඇතැයි ගුණසෝමට සිතිණි."

"කෝටි ගණන් වියදම් කරල මේ අධිවේගී හදන වේලේ මේ රටේ කොයි තරම් දේවල් කරන්න තියෙනවද? සර්ට ආරංචිද පහුගිය දවස්වල හැටන් වල මිනිස්සු එකතු කරපු එළකිරි බැරල් පිටින් පාර දිගේ හැලූවයි කියලා..."


අවසානයේ දී මහගෙදර පදිංචිව සල්ලහුක දිවියක් ගත කරන්නට සිතා හුන් ගුණසෝම මහගෙදර විකුණා දමා විදේශයේ පදිංචියට යාමට තීරණය කරයි. 

මේ කෙටිකතාව තුලින් ශ‍්‍රී ලංකාවේ ඉදිරි ගමන පිළිබඳව වන ඔහුගේ පැතුම් සුන් වීමෙන් ජනිත ප‍්‍රබල අපේක්ෂාභංගත්වය විද්‍යමාන වන බව පෙනී යයි. 

කෙසේ වෙතුදු "කියනු මැන දිවි අරුත" නම් කෙටිකතා සංග‍්‍රහය ලාංකේය කෙටිකතා කෙතට එක් වුණු සරු අස්වැන්නක් බව කිය යුතුය. ගුණදාස අමරසේකරයන්ගේ මෑත කාලීන සාහිත්‍ය රචනා වල එන කලාත්මක බවින් හීන, රළු දෘෂ්ටිවාදී එළැඹුම් නිසා මෙම කෙටිකතා එකතුව ද ඒ මල්ලටම දමා පැත්තකටම දැමීම කිසිසේත් නොකළ යුත්තකි. මෙය නූතන සිංහල සාහිත්‍ය සමාජයේ පාඨක විචාරක නොමද අවධානයට පාත‍්‍ර විය යුත්තකි.

සඳුන් ප්‍රියංකර විතානගේ

http://www.boondi.lk/article.php?ArtID=3896